ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commissioner General's Department

Ministry of Agriculture, Livestock, Land and Irrigation

පුවත්

ගරු. ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් තුමාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසදීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙහි නිලධාරින්, පළාත් ඉඩම් කොමසාරිස් සහ අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයන්හි නිලධාරින් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරින් සම්බන්ධ විය.


ඩෙංගු මර්දන සතියට සමගාමීව, මිහිකත මැදුර ගොඩනැගිල්ලේ කාර්යාල පවත්වාගෙන යන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් අංශය යන ආයතන තුනෙහි මාණ්ඩලික නිලධාරීන්, විෂය නිලධාරීන් සහ පිරිසුදු කිරීමේ සේවකයින්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට පිරිසිදුභාවය නිරීක්ෂණය කිරීමේ හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

මෙම වැඩසටහන ඩෙංගු මර්දන සතිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමත්, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.


පොළොන්නරුව අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධව කාලයක් පුරාවට නොවිසඳුනු දීර්ඝ කාලීන බදු ගැටලු විසඳීම, හිඟ බදුකරුවන් සමඟ සාකච්ඡාව හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දේශපාලන අධිකාරිය සමඟ ඉඩම් ගැටලු ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා වන තෙදින ජංගම සේවයක් ජුනි මස 17,18 සහ 19 තෙදින පුරාවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී දීර්ඝ කාලයක් පුරාවට නොවිසඳුනු ඉඩම් බදු ආශ්‍රිත ගැටලු රැසක් විසඳා ගැනීමට අවස්ථාව ලැබුණු අතර හිඟ බදු කරුවන් හා සාකච්ඡාව තුළින් බදු කරුවන් දැනුවත් කිරීමටද අවස්තාව සැලසිණි.


ඉඩම් කොමසාරිස් ජනරාල් තුමාගේ මගපෙන්වීම යටතේ, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින්, උතුරු පළාතේ මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල සුනාමි දීමනාපත්‍ර සැකසීම කඩිනම් කිරීමේ ජංගම සේවා වැඩසටහනක් 2026 මැයි 19, 20 හා 21 දිනවල මුහුදුබඩපත්තුව සහ වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සංවිධානය කිරීම හා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු පළාත් ඉඩම් කොමසාරිස්තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය සහ මුහුදුබඩපත්තුව, වඩමාරච්චි නැගෙනහිර කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු කාර්යමණ්ඩල නිලධාරීන් සක්‍රීය දායකත්වය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන තුළින් සුනාමි දීමනාපත්‍ර සැකසීම සඳහා සුදුසුකම්ලත් අයදුම්පත්‍ර 700කට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට හැකි වූ අතර, එමගින් වසර 20කට අධික කාලයක් විවිධ හේතූන් මත, තමන් වෙත ලැබුණු ඉඩම්වල අයිතිය සහතික කිරීමට ඔප්පු නොලැබ සිටි ප්‍රතිලාභීන් වෙත එම ඔප්පු ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇත.


ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පසුගියදා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

නිලධාරීන් අතර සහයෝගිතාව, එකමුතුකම සහ ශ්‍රී ලාංකේය සංස්කෘතික වටිනාකම් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, විනෝදාත්මක අංග සහ සංස්කෘතික වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණු අතර, එදින සියලු දෙනාටම සතුටුදායක සහ උද්යෝගිමත් දවසක් විය.


උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය සහිතව උතුරුමැද පළාත් ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් නිළධාරීන්, ජනපද නිළධාරීන් සහ විෂය නිළධාරීන් සඳහා දීර්ඝ කාලීන බදු ගණනය කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහනක් 2026.04.30 දින උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදී. සංකීර්ණ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය ඒකාකාරී රටාවන්ට අනුව හඳුන්වාදීම මෙහි මූලිකම අරමුණ විය


ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ස්වේච්ඡා මුදල් පරිත්‍යාගයෙන්, එම දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීමේ සේවාවල නිරතව සිටින කාර්ය මණ්ඩලය වෙත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි ආහාර හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් භාණ්ඩ මලු 23ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 අප්‍රේල් මස 10 වන දින සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙම සත්කාර වැඩසටහන ඉඩම් කොමසාරිස් ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ආයතනය තුළ සේවය කරන සියලුම කාර්ය මණ්ඩල අතර සමාජ සම්බන්ධතා ශක්තිමත් කිරීමත්, කෘතඥතාව පළ කිරීමත් යන අරමුණු යටතේ මෙය සංවිධානය කරන ලදී.


ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල රජයේ ඉඩම් බදු ගොනු සම්බන්ධ ගැටලු විසඳීම, ලේඛන අඩුපාඩු සම්පූර්ණ කිරීම සහ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම මූලික කරගනිමින් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව සිදුකළ විශේෂ තෙදින ජංගම සේවාව පසුගිය අප්‍රේල් මස 6, 7 සහ 8 යන දිනවලදී එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයන්හිදී සාර්ථකව පවත්වන ලදී. ජනපද නිලධාරීන් හා ඉඩම් නිලධාරීන් සෘජුව දැනුවත් කරමින් මෙතෙක් ජනතාව පීඩාවට පත්කළ දීර්ඝකාලීන ඉඩම් ගැටලු රැසකට විසඳුම් ලබා දීමට මෙහිදී පියවර ගැනුණු අතර, වඩාත් විධිමත් හා කාර්යක්ෂම ඉඩම් පරිපාලන සේවාවක් තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.


මෙරට පොදු මහ ජනතාව වෙත තමන්ගේම ඉඩමක ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරමින් ඉඩමේ පරම අයිතිය ප්‍රධානය කෙරෙන "හිමිකම" නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ සමාරම්භක වැඩසටහන 2026/02/27 දින ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කොරකහවැව උතුරුමැද පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් හා සම්බන්ධීකරනයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන තුළ දී රජයේ දීමනා පත්‍ර පැවති ඉඩම් තුළ ජීවත් වු ජනතාව සඳහා එම ඉඩමේ සින්නක්කර අයිතිය පවරමින් හිමිකම ප්‍රදාන පත්‍ර 500ක් බෙදා දෙන ලදී. ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.


ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගති සමාලෝචනය සහ 2026 වසරේ ඉලක්ක පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2025/02/19 වන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මේ වසරේ ළඟා කර ගැනීමට අපේක්‍ෂිත ඉලක්ක සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අතර ඉඩම් වාර්තා ඩිජිටල්කරණය ඇතුළු කරුණු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.


කතුහිමිකම © 2026 ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.