ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

ඉතිහාසය

...

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තුළ බ්‍රිතාන්‍ය ජාතීන් විසින් පාලන බලය අල්ලා ගෙන තිබුණි. එම කාලය තුළ තෙත් කලාපයේ ඉඩම්වල තේ වගාව ආරම්භ කිරීම, වියළි කලාපයේ වාරි පද්ධතිය කඩා වැටීම, ජනගහනය නිරිත දිග තෙත් කලාපයට කේන්ද්‍ර වීම, වී වගාවට නිසි සැළකිල්ලක් නොලැබීම, ස්වයංපෝෂිත ආර්ථික රටාව වෙනුවට වාණිජ ආර්ථික රටාවට මුල් තැන ලබා දීම, පළමු ලෝක සංග්‍රාමයත් සමඟ ඇති වූ ආහාර හිඟය, ආදී ගැටළු රාශීයකට මෙරට ජනතාවට මුහුණ දීමට සිදු විය. මෙම හේතුන් නිසාත් රාජ්‍ය මන්තණ සභාවේ මෙරට නියෝජිතයින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම නිසාත් ආහාර නිෂ්පාදනය සඳහා කඩිනම් වැඩසටහනක අවශ්‍යතාවය පැන නැගුණු නිසාත් නිරිතදිග ප්‍රදේශයේ කේන්ද්‍රණය වූ ජනගහනය දිවයිනේ සෙසු ප්‍රදේශවල පදිංචි කරවීමේ අවශ්‍යතාවය පැන නැගී තිබූ නිසාත් ඊට විසඳුම් ලෙස නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා 1927 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉඩම් පිළිබඳ කොමිෂමක් පත් කරන ලදී. එම කොමිෂමේ නිර්දේශ අනුව 1931 දී ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටුවා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉඩම් කොමසාරිස්වරයා ලෙස සී.වී.බ්රේන් මහතා පත් කරන ලදී. ඒ අනුව රජය සතු ඉඩම්වල සියළු බලතල මෙම දෙපාර්තමේන්තුවට පැවරිණ.මහගොවි ජනපද,උස්බිම් ව්‍යාපෘරය,ගම් පුළුල් කිරීමේ ව්‍යාපාරය, තරුණ ව්‍යාපාරය, මධ්‍ය පන්තික ව්‍යාපාරය ලෙස විශේෂ සංවර්ධන වැඩසටහන් පහක් හඳුනා ගැනීම,ඉඩම්ලාභීන් තෝරා ගැනීම (ඉඩම් කච්චේරි පවත්වා) ඉඩම් බෙදා දීම, මෙහිදී ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැවරුණ ප්‍රධාන කාර්යයන් වේ.

රජය සතු ඉඩම් හා පෞද්ගලික ඉඩම් වෙන්කර හඳුනා ගැනීමට 1931 දී ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත හඳුන්වා දුනි. 1935දී ඉඩම් සංවර්ධන ආඥා පණත නීතිගත කර එම පනතට අනුව රජය සතු සියළුම ඉඩම්වල භාරකාරත්වය, බෙදාදීම හා සංවර්ධන කිරීම යන සියළු බලතලද මෙම දෙපාර්තමේන්තුවට පැවරිණ.

විවිධ දෙපාර්තමේන්තු,විවිධ ආයතන හා පුද්ගලයින් සඳහා වාණිජමය කටයුතු හා පදිංචියට ඉඩම් ලබා දීම, විවිධාකාර රක්ෂිතයන් හඳුනා ගැනීම, වෙරළ පරිපාලනය, පොදු විල් හා දොළවල් පාලන කටයුතු පරිපාලනය පහසුව පිණිස 1947දී රජයේ ඉඩම් ආඥා පනත හඳුන්වා දුන් අතරඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට එම බලතල පනතින් පැවරිණි.1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතට අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවක් පත් කර ගන්නා ලදී.මෙහිදී අක්කර 50 ට වැඩි සියළු ඉඩම්වල අයිතිය කොමිසමට පවරා ගන්නා ලදී. 1979දී ස්ථාපිත ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනතට අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ගන්නා ලද ඉඩම් නැවත රජයට පවරාගෙන මහජනතාවට බෙදාදීමේ කාර්යභාරය ද ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැවරිණ.

රජය සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින හෝ පදිංචිව සිටින පුද්ගලයින් එකී ඉඩම්වලින් ඉවත් කර සන්තකය නැවත රජයට ලබා ගැනීම පිණිස 1979දී රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත හඳුන්වා දී එම කාර්යභාරය ද ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැවරිණ.

1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ 11 උප ලේඛනයට යටත්ව ඉඩම් පිළිබඳ විෂය කටයුතුවලින් කොටසක් පළාත් සභාවට පැවරිණ.එමෙන්ම අන්තර් පළාත් සංවර්ධන යෝජනා ක්‍රම ආශ්‍රිත ඉඩම්වල පරිපාලනය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය යටතට පැවරිණ.අන්තර් පළාත් යටතට ගැනෙන අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, මන්නාරම, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මාතලේ, මහනුවර,බදුල්ල, අම්පාර, මඩකලපුව, මොණරාගල, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්ක අනුරාධපුර, පොළොන්නරුව, මහියංගණය, දෙබරවැව, අම්පාර ලෙස කලාප හයකට බෙදා පාලන කටයුතු සිදු කරන ලදී. මෙම පාලන කටයුතු පහසු කිරීම පිණිස නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් සහකාර ඉඩම් කොමසාරිස්, ජනපද නිළධාරි, ක්ෂේත්‍ර උපදේශක වැනි නිළධාරීන් පත් කරන ලදී.

2004.09.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙතෙක් ක්‍රියාත්මකව පැවති ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, 2004.09.15 දින සිට “ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව” ලෙස උසස් කරන ලදී. ඒ අනුව මෙතෙක් ඉඩම් කොමසාරිස්ට තිබූ බලතල “ඉඩම් කොමසාරිස් ජනරාල්” ට පැවරිණි.